මේක මට ලගදි ආපු e-mail එකක තිබ්බ කතාවක්. හැබැයි ඒක අපි කාටත් වටිනා කතාවක් කියල හිතුන නිසා තමයි මෙතන දාන්න හිතුවේ. හැබැයි මේ කතාවේ ඇත්ත නැත්ත නං මම හරියට දන්නේ නෑ. නමුත් මේ කතාවට ගොඩක් සමාන සිදුවීම මමත් අහල තියෙනවා. මේ කතාව, ලංකාවේ ඉදල ඇමෙරිකාවට ගිය අපේ කට්ටියකට වෙච්ච දෙයක් ගැන තමා තියෙන්නේ. කවුරු උනත් තමන්ගේ රට දාල යනකොට ටිකක් මේවා ගැනත් හොයල බැලුවොත් හොදයි කියල තමයි මටත් හිතෙන්නේ. මේකේ තිබුන නම් ගම් මම ඉවත් කලා, ඒවා අපිට වැඩක් නෑ නමුත් කතාව මෙන්න මෙහෙමයි.
මේ කතාව කොහොම පටන් ගන්නද කියල මටම තේරෙන්නෙ නැහැ.
අපි මෙහෙම පටන් ගමු. මගේ නම ---. --- ------. ගම කඩවත. මම --- සමාජයේ සාමාජිකයෙක්. --- සමාජයේ වාර්ෂික සමුලුවකට තවත් කට්ටියක් සමඟ ඇමරිකාවේ චිකාගෝවට යන්ට මට (අ)වාසනාව පෑදුනා. ඇමරිකන් උණ සෑදී වලිප්පුව සෑදී සිටි මම ආපසු ආවේ නැහැ. මට එහේ පොඩි ජොබ් කට්ටක් සෙට් උනා.
දැන් අවුරුදු හතරක්. තව අවුරුද්දකට වීසා තියෙනවා. තව කීයක් හරි හොයා ගෙන ආපහු යනවා. මට රැකියාවක් ලැබුනේ ගෑස් ස්ටේෂන් එකක. ගෑස් ස්ටේෂන් කියන්නේ පැට්‍රල් ෂෙඩ්. පැට්‍රල් ෂෙඩ් එකක වැඩ කරනවා කියන කොට ඔබට මතක් වෙයි කාකි කොට කලිසමක් ඇඳල කාකි අත් කොට කමිසයක් ඇඳල රබර් සෙරෙප්පු දෙකක් දෙපයට දාගත්තු බුලත් හපයෙක්. ඒත් ඇමරිකාවෙ එහෙම නැහැ. අපිට ලස්සන යුනිෆෝම් එකක් තියෙනවා. ටයි එකකුත් දාන්න ඕන. මෙහේ ( ගෑස්) පැට්‍රල් ගහන්නේ වාහනය පදවන්නාමයි. පොම්ප 10 ක් 12 ක් විතර තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරල තමන්ටම ගෑස් ගහගන්නත් පුලුවන්. එහෙම නැත්නම් ඇතුළට ගිහිල්ලා පොම්පයේ අංකය කියල මුදල් ගෙව්වාම මට කරන්න තියෙන්නේ කොම්පියුටරයෙන් පොම්පය විවුර්ත කරන එකයි. ඊට අමතරව හදිසියෙන් ගන්න අවශ්‍ය බෙහෙත් පෙත්තේ සිට කොන්ඩම් එක දක්වා බඩු විකුණන මිනි මාකට් එකකුත් තියෙනවා.